Friday, December 15, 2017

වහින්නට හැකි නම් ගිගුම් දී...





මහාචාර්ය සුචරිත ගම්ලතුන් හා සංගීතවේදී ජයන්ත අරවින්දයන්ගේ සුසංයෝගයෙන් වර්ණිත ගී විචාර කලාවේ නවමු පිටුවක් පෙරැළු අවස්ථාවක් වන ගුවන්විදුලියේ විකාශනය වූ "ගී මිණි ආර"වැඩසටහනේ දී නන්දා මාලිනී ගැයූ "වහින්නට හැකි නම්..." ගීතය මහැදුරු ගම්ලතුන් විසින් මනහර අන්දමින් විචාරයට බඳුන් කළේය.


සුනිල් ආරියරත්නගේ මේ ගේය පද රචනය සංගීතවත් කළේ සුනිල් දයානන්ද කෝනාර.
ගීය ගයන්නේ නන්දා මාලිනී.


වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම්බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නො ඉදෙන පැළක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළග සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑ ⁣වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී

මෙළොව බැලු බැලූ සැම අත දිස්වන්නේ ඇතියාව නො ව නැතියාවයි. හැකියාව නො ව බැරියාවයි. සියොව නො ව වියොවයි.

මිනිසා තම ජීවිතය සුසංවාදීව ද සුපුෂ්පිතව ද අඩුපාඩු රහිතව ද සැමදෙයින් සපිරිව ද ජීවත්වීමට දරන ප්‍රයත්නය බිඳ වැටෙයි. යළි යළිත් බිඳ වැටෙයි. ජීවිතයට මිතුරෝ අඩු ය. සතුරෝ වැඩි ය.

මේ දුක්බර තතු දන්නා කලාකරුවන්ගේ හද දැවේ. සිත සෝ බර වේ. එවිට ඇතැම් කලාකරුවෝ ජීවිතයට සිටින ඒ සතුරෝ කවරහුදැයි සෙවීමට තැත් කරති. එයින් රසිකයාගේ නැණ නුවණ වැඩේ. අවබෝධයේ නිම්වළලු සම්ප්‍රසාරණය වේ.

එනමුදු ගීතය නමැති අති සීමිත ක්ෂේත්‍රයේ දී එබඳු දැයක් කිරීම දුෂ්කර ය. නො කෙරෙන්නේ ම නො වේ. ගීත කරුවන් බොහෝවිට කරන්නේ ලොව එකී සෝබර තතු ගැන වැළපීමයි.

මේ ගීතයේ නිර්මාපකයෝ ද එසේ ම කරති.

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම්බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නො ඉදෙන පැළක රහසින්


මාස ගණන් වැස්ස නැතුව දිගට ම පායයි. ඇල දොළ සිඳේ. ගම්බිම් වියැළේ. ගොවිතැන්බත් වැනැසේ. දුක දික් වෙයි. මේ තතු දැක ශෝකවන මේ කලාකරුවෝ ඒවා පරිහාර කර ලොවට සැප සැපයිය හැකි නම් කෙතරම් අගේදැයි සිතති.


මේ තතු නිසා ම දුගී පැල්පත්වල බතක් නො ඉදෙයි. පැල් වැස්සෝ හාමතිනි. මේ දුක දුරීභූත කිරීමේ ආසාව ඔවුන් තුළ උපදී.


රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළග සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

ළමා කැළ හඬන්නේ මන්ද? මව්පියන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය නො හැකි හෙයින් නො වේද? ඒ නො හැකියාවට හේතු කිම? දරිද්‍රතාව ම ඊට හේතු වේ. ගීත නිර්මාපකයන්ගේ පැතුම නම් මෙය තුරන් කිරීම⁣ට හැකියාව තමන්ට ලැබේ නම් කෙතරම් අගනේද යනුයි. ඉඩෝරයෙන් කර සැඟවූ වනපෙත මත මිනිසාට නෙළාගත හැකි මානයේ පිපෙන්නට හැකි නම් ඔවුන් තුළ ඇතිවන සංතුෂ්ටිය අපමණ වෙයි.


නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑ ⁣වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී


මිනිසාට පෙනෙන බොහෝ සිහින නපුරු ය. අනික්වා සැබෑ නො වන බොරු සිහිනය. සිග්මන් ෆ්‍රොයිඩ් මේ දෙවන සිහින ගණය හඳුන්වන්නේ පැතුම් සපුරන සිහින යනුවෙනි. ඒවා තුළ ගැබ් වන්නේ සිහිනෙන් පැතුම් සැපිරීමයි. යථාර්ථය තුළ ඒවා සැබෑ නො වේ. ඒවා සැබෑ වේ නම් කෙතරම් අගනේද? ගීත නිර්මාපකයන්ගේ පැතුම එයයි.

කෙතරම් ගීත ගැයූවත් ලොව නො පිබිදේ. කෙසේ පිබිදන්නටද?
දරිද්‍රතාවෙන් මිලානව යන සඳ සියලු දුක් දොම්නස් නිවී උදාන ගී ගැයේවා යන මේ පැතුම එහෙයිනි.


Reference : https://www.facebook.com/geeminiara/posts/205128889973035